SMS භාවිතය සහ පෞද්ගලික සංවාද ගුප්තකරණය

 SMS තාක්ෂණය අපි හැමෝම භාවිත කරනවා. අද බොහෝ දෙනෙක් smart phone භාවිත කරන නිසා ඉස්සර තරම් නම් sms භාවිත වෙන්නේ නැතුව ඇති. නමුත් අදටත් අපි sms භාවිත කරනවා.

SMS පෞද්ගලික නොවන දේවල් සඳහා පමණක් භාවිත කරන්න පුලුවන්නම් තමයි හොඳ. Data balance එක බලන්න වගේ දේවල් වලට sms භාවිත කළාට ගැටලුවක් නෑ. ඒත් යාළුවෝ එක්ක චැට් කරන්න වගේ දේවල් වලටනම් sms භාවිත කරන්න එපා. ඒ ඇයි කියලා වගේම sms තරම් ම ගැටළු සහගත chat app මොනවද කියලා දැනගන්නත් දිගටම කියවන්න.

අපි දුරකතනයකින් කතා කරද්දී නැත්නම් message කරද්දී අපිට හිතෙනවා ඒ සන්නිවේදනය පෞද්ගලිකයි කියලා. ඒ කියන්නේ පණිවුඩය ලැබිය යුත්තා සහ ඔබට පමණයි ඒ සංවාදයේ සිටිය හැක්කේ කියලා හිතෙනවා. භෞතිකව සාකච්ඡාවක් කරද්දී ඒ සාකච්ඡා වුණ දේවල් දන්නේ සාකච්ඡාවට සහභාගි වුණ අය විතරනෙ. විද්‍යුත් සන්නිවේදන වලදී ඕක ඔහොම නෑ.

හිතලා බලන්න. අපි විද්‍යුත් සන්නිවේදනයේදී පණිවුඩයක් දිගු දුරක් යවනවා. තැපැල් කරද්දීත් වෙන්නේ ඕකමනේ. ඔබ පණිවිඩයක් post card එකක ලියලා තැපැල් කළොත් ඒ පණිවිඩයේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවද? නෑ. ඒ පණිවිඩය තැපැල්කරුට හරි පණිවුඩය යන මාර්ගයේ ඉන්න වෙනත් අතරමැදියෙකුට බලන්න පුළුවන්.

විද්‍යුත් සන්නිවේදනයේ තියෙන්නෙත් ඔය ගතලුවමයි. වෙනසකට තියෙන්නේ මේකේ තැපැල්කරුවෝ නෑ. පණිවුඩය ගුවනින් නැත්නම් වයර් දිගේ ගමන් කරනවා. මේ විදියට ගමන් කරන පණිවිඩය ඇසට නොපෙනුනාට මේකේ පෞද්ගලිකත්වය ආරක්ෂිතයි කියලා නම් හිතන්න එපා. මොකද වයර් දිගේ යන පණිවුඩය ඇසට නොපෙනුනාට යන්ත්‍ර වලට පෙනෙනවනේ.

ඔබගේ දුරකථනයෙන් යන sms සහ call ඒ පණිවිඩයේ ගමන් මාර්ගයේ ඉන්න අතරමැදියන්ට බලන්න පුළුවන්. ඔතන ඉන්න ප්‍රධාන අතරමැදියා තමයි ඔබේ දුරකථන සේවා සපයන සමාගම. ඔබගේ sms ඔක්කොම දුරකථන සමාගම්වල පටිගත වෙනවා. දන්න විදියට ගොඩක් සමගම් Call නම් පටිගත කරන්නේ නෑ. ඒ ඒවා ගබඩා කරන්න වියදම් යන නිසා. අවශ්‍යතාවයක් තියනවානම් call වුණත් පටිගත කරන්න පුළුවන්. ඕනෙනම් පටිගත වුණ ඔබේ sms දුරකථන සමාගමෙන් (මුදල් ගෙවලා) ගන්නත් පුළුවන්.

දුරකථන සමාගමට විතරක් නෙමෙයි hacker කෙනෙක්ට වුණත් පණිවිඩයේ ගමන් මාර්ගය අතරට ගිහින් ඒ පණිවුඩය බලන්න පුළුවන්. (ඒ නිසා තමයි 2 factor authentication වලට text messaging භාවිත කරන්න එපා කියන්නේ. ඒක මාතෘකාවෙන් පිට කරුණක්)

විසදුම?

අර තැපැල් කිරීමේ උදාහරණයට ආයෙත් යමු. දැන් අපි දන්නවා පෝස්ට් කාඩ් වලට පෞද්ගලිකත්වයක් ලැබෙන්නේ නෑ කියලා. ඒකට විසදුම මොකක්ද? සරලයි. පෝස්ට් කාඩ් වෙනුවට ලියුම් කවරයක දාලා පණිවුඩය යවන්න. ඒ විසදුම විද්‍යුත් පණිවුඩ වලටත් ගැලපෙනවා. ලියුම් කවරයක දානවා වෙනුවට පණිවුඩය "encrypt" කිරීම හෙවත් ගුප්තකරණය කිරීමයි විද්‍යුත් සන්නිවේදනයේ දී සිද්ද වෙන්නෙ.

Encryption වලදී වෙන්නේ පණිවිඩය බාහිර පාර්ශව වලට කියවන්න බැරි වෙන්න අර්ථ විරහිත පණිවිඩයක් බවට පත් කරනවා. මෙය සිදු කරන්නේ යම් යම් අකුරු වෙනත් අකුරු වලට මාරු කරන එක, අකුරු තිබෙන තැන් එහා මෙහා කිරීම වගේ දේවල් මගින්. නමුත් එය සිදුකරන රටාව පණිවිඩය යවන්නා සහ ලබන්නා දන්නවා. ඒ නිසා පණිවිඩය ලබන්නාට අර්ථ විරහිත පණිවිඩය නැවත අර්ථවත් පණිවිඩයක් කරගන්න පුළුවන්. අපි උදාහරණයක් බලමු.

හිතන්න මට "මමත් 6924255න් එකෙක්" කියන පණිවුඩය encrypt කරන්න අවශ්‍යයි කියලා. මම ඒ පණිවුඩය අර්ථ විරහිත කරන්නේ මෙහෙමයි.

  1. පණිවිඩය අනිත් පැත්තට හරවනවා.
    • ක්කෙඑ න්5524296 ත්මම
  2. දැන් හිස්තැන් වලට "0" දානවා.
    • ක්කෙඑ0න්55242960ත්මම
  3. දැන් අකුරු 3ක වචන වලට කඩනවා.
    • ක්කෙඑ 0න්5 524 296 0ත්ම ම
  4. දැන් හිස්තැන් වලට "ළ" යොදනවා.
    • ක්කෙඑළ0න්5ළ524ළ296ළ0ත්මළම
"ක්කෙඑළ0න්5ළ524ළ296ළ0ත්මළම"

දැන් පණිවුඩය ලබන්නා ඉහත පියවර 4 ආපස්සට අර්ථ විරහිත පණිවුඩය මත කළොත් ඔහුට අර්ථවත් පණිවිඩය ලබන්න පුළුවන්. ඕපාදූප සොයන්නෙකුට අර්ථ විරහිත පණිවුඩය ලැබුණාට වැඩක් නෑ මොකද ඔහු පණිවුඩය අර්ථවත් පණිවිඩයකට පෙරළන්න අනුගමනය කළ යුතු පියවර දන්නේ නැති නිසා.

ඔන්න ඕක තමයි encryption ගැන සරලම උදාහරණය. ඇත්ත ලෝකේ encryption මීට වඩා බොහොම දියුණු ක්‍රම වලටයි සිදුවෙන්නෙ. ඔබ encryption ගැන දන්න කෙනෙක් නම් ඔබට මේක විහිළුවක් වගේ ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා. ඉදිරියේදී encryption ගැන විස්තරාත්මක ලිපියක් ලියන්නම්.

Chat app වලදී පණිවුඩය දුරකථනයෙන් එළියට යන්නේ encrypt වෙලා. ඒ කියන්නේ අර්ථ විරහිත පණිවුඩයක් විදියට. ඒ අර්ථ විරහිත පණිවුඩය අර්ථවත් කරගන්නේ කොහොමද කියලා ලබන්නාගේ phone එකේ තියන chat app එක දන්නවා. ඒ නිසා බාහිර පාර්ශවයක් පණිවිඩයේ ගමන් මාර්ගය මැදට ඇවිත් පණිවුඩය බැලුවට ගැටලුවක් නෑ. මොකද ඔවුන්ට මේ පණිවුඩය අර්ථයක් නැති දෙයක්.

පෞද්ගලික සංවාද, දුරකථන ඇමතුම් හැම දෙයක්ම encrypt කිරීම වැදගත්. නැත්නම් ඕපාදූප සොයන්නන්නට, දුරකථන සමාගම් හා වෙනත් අයට ඔබේ සංවාද වලට ඇහුම්කන් දෙන්න පුළුවන්. SMS වල ගැටලුව තමයි encrypt නොවීම. ඒ නිසයි දුරකථන සමාගම් ඇතුළු තෙවන පාර්ශවයේ අයට සන්නිවේදනය අතරට පනින්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ ගැටලුව sms වලට පමණක් සීමා වෙන්නේ නෑ.

මම chat app වල encryption භාවිත වෙනවා කිව්වා තමයි. හැබැයි හැම chat app එකක්ම එහෙම නෑ. පසුගිය දවස් වල WhatsApp සමාගමට තමන්ගේ පෞද්ගලික පණිවුඩ බලන්න පුළුවන්ද කියලා කතාවක් ආවනේ. WhatsApp වලට නම් නෙමෙයි හැබයි මේ app වලට පෞද්ගලික පණිවිඩ බලන්න පුළුවන්. ඒවා encryption භාවිත කරන්නේ නෑ.

  1. Instagram
  2. Discord
  3. Facebook messenger
මේ වෙද්දි ඔබ SMS භාවිතය අනාරක්ෂිතයි කියලත්, ඔබේ පෞද්ගලික සංවාද වලට යොදා ගත් chat app කීපයක් ඔබේ පෞද්ගලිකත්වයට ගරු කරන්නේ නැති බවත් දන්නවා. WhatsApp වලින් සංවාද encrypt වෙනවා. ඒත් WhatsApp ඔබේ පෞද්ගිකත්වයට ගරු කරන්නේ නම් නෑ. එදිනෙදා භාවිතයට මම යෝජනා කරන්නේ "signal". අපි බලමු තවත් encrypted chat app කීපයක්.

  1. Element
  2. Signal
  3. Briar
  4. Jami
හ්ම්ම්... දිග ලිපියක්. කියවන්න වේලාව වෙන් කළාට පාඩුවක් වෙන්න නැතුව ඇති කියලා හිතනවා. ලිපිය කියවලා පරිගණක ලෝකයේ ආරක්ෂිතව ඉන්න හැටි ගැන දැනුම තව පොඩ්ඩක් වැඩි කරගත්තාට ස්තුතියි. Comment කරන්න අමතක කරන්න එපා. මම හැම ඉරිදා ම අළුත් ලිපි ලියනවා

Comments

Post a Comment

Popular posts from this blog

ක්‍රියාකාරී ගොනු අහිංසක නැත

Free software හොඳ ද? (Free vs Proprietary software)

Linux වල සිංහල font නිිවැරදි ව display කිරීම

Radius Images