Smart තාක්ෂණය මොන පාටද?

Smart Home, නැත්නම් සුහුරු නිවස කියන සංකල්පය ඔබට අලුත් දෙයක් නෙමෙයි. විවිධ ප්‍රදර්ශන වල, youtube video වල, චිත්‍රපටි වල වගේම වෙළඳ දැන්වීම් වලත් Smart Home සංකල්පය දැන් දැන් නිතර දකින්න ලැබෙනවා. ඒ නිසාම අද ලිපියෙන් මම කතා කරන්නෙ ඒ ගැන. හැමෝම දන්න මාතෘකාවක් ගැන ලිපියක් ලියන්නෙ ඇයි කියලා ඔයා හිතනවා වෙන්න පුළුවන්, ඒත් මම ඉදිරිපත් කරන්නෙ හැමෝම දකින මතයට වෙනස් මතයක්.

මේ 2021 අවුරුද්ද නිසා smart home ගැන විශේෂ හැඳින්වීමක් කරන්න ඕනෙ වෙන එකක් නෑ. ස්ව්‍යංක්‍රීයව කෑම ඇනවුම් කරන ශීතකරණ, කටහඩින් පාලනය කරන්න පුළුවන් දොර ජනෙල්, ස්ව්‍යංක්‍රීයව දැල්වෙන විදුලි බුබුලු… කටහඩින් සහ සංඥා වලින් පාලනය කරන පූර්ණ නිවසක්! විද්‍යා ප්‍රබන්ධයකින් සිනමාවට ගිය, සිනමාවෙන් යථාර්තයට ආ ඉන්ද්‍රජාලයක්! නූතන විද්‍යාවේ සංකීර්ණ, සියුම් නිර්මාණයක්!

මීට අවුරුදු 10කට කලින් හීනයක් වුණ මේ ඉන්ද්‍රජාලික තාක්ෂණය තවදුරටත් මායාවක් නෙමෙයි. Artificial Intelligence සහ Material Engineering කියන අංශ වල දියුණුවට ස්තුති වෙන්න අද සමාජයට smart home කියන්නෙ සාමාන්‍ය දෙයක්. Microsoft Cortana, Apple Siri, Google Assistant, Amazon Echo වගේ මෘදුකාංග බහුල නිසා ඔබටත් AI Assistant කෙනෙක් ආශ්‍රය කරලා අත්දැකීම් ඇති. AI Assistant කෙනෙක් වෙනවට අමතරව Google Assistant, Amazon echo වගේ තාක්ෂණයන්ට ඔබගේ නිවසම smart home එකක් කරන්න පුලුවන්.

ඉතින් ගොඩක් අය මේ තාක්ෂණයේ තියන ඉන්ද්‍රජාලික බව, සුවපහසු බව සහ සුගුණ ගැන කතා කරනවානෙ. දැන් බලමු කවුරුත් කතා නොකරන පැත්ත.

Smart Devices මැජික් පෙන්නන්නෙ කොහොමද?

ඔයා Google Assistantගෙන් දෙයක් ඇහුවොත් ඔබට මේ අපූරු කෘත්‍රීම බුද්ධිය ඉතාම බුද්ධිමත් පිළිතුරක් ලබා දෙනවා. ඒත් කොහොමද? අලුත උපන් බිළිඳෙකුට වුණත් භාෂාව තේරුම් ගන්න අවුරුදු දෙකක්වත් යනවා. එතකොට මොළයක් නැති යකඩ ගොඩක් ඔබව තේරුම් අරන් බුද්ධිමත්ව පිළිතුරු දෙන්නෙ කොහොමද? සරලයි, පිළිතුර කෘත්‍රීම බුද්ධිය. හ්ම්ම්… ඒත් මෙච්චර සංකීර්ණ කෘත්‍රීම බුද්ධි පද්ධතියකට පණ පොවන්න තරම් ඔබ ළඟ තියන පුංචි ගැජට් කෑලි බලවත්ද?

ඔයා කතා කරන හැම දෙයක්ම තේරුම් ගන්න, කටහඩේ විවිධත්වය අවබෝධ කරගෙන, ඔයාගෙ හැඟීම් තේරුම් ගන්න පුළුවන් දියුණු කෘත්‍රීම බුද්ධි පද්ධතියකට පණ දෙන්න තරම් පරිගණක බලයක් ඔයාගේ අතේ තියන දුරකථනයට තියනවාද? ඔයාගෙ කැමැත්ත අකමැත්ත තේරුම් ගන්න තරම් බලයක් රුපියල් තිස් හතළිස්දහසක විදුලි පරිපථයකට තියනවා කියලා හිතවනවාද? Smart phone එකට ඒ හැකියාව තියනවා කියමුකො. ටින් එකක් ඇතුලෙ ජීවත් වෙන Amazon Alexa ගැන මොකද හිතන්නෙ?

කවදාවත් නොතිබුණ තරම් transistor ගොඩක් සිලිකන් වේෆර් එකක් උඩ නැනෝ පරිමාණයේ ඉඩක අහුරන්න දැන් පුළුවන්. ඒත් තවමත් ඔයා ළඟ තියන පරිගණක උපකරණ වල බුද්ධියට වඩා වැඩි බුද්ධියක් ගෙම්බෙකුට වුණත් තියනවා. අනිත් පැත්තෙන් සංකීර්ණ මෘදුකාංග සඳහා විශාල විදුලි බලයක් අවශ්‍යයයි.

ඔයා භාවිත කරන කෘත්‍රීම බුද්ධි පද්ධති ධාවනය කරන්න තරම් හැකියාවක් ඔයාගෙ පරිගණක වලට නෑ. ඔයාගෙ කෘත්‍රීම බුද්ධි මෘදුකාංග ඔක්කොම බලගැන්වෙන්නෙ පෞද්ගලික සමාගම් වල cloud servers වලින්. Google Assistant, Amazon Echo වගේ දේවල් වලින් ඇත්තටම කරන්නෙ, ඔයා කතා කරන දේවල් සහ එකතු කරගන්න අනිත් දත්ත cloud server එකකට upload කරලා ඒ server එක ලබා දෙන ප්‍රතිචාරය ඔයාට ඉදිරිපත් කරන එක. ඔයා පාවිච්චි කරන product එක Google product එකක් නෙමෙයි නම්, සියයට අනූවකම අවස්තා වලදි ඒ product එක භාවිත කරන්නෙ Amazon Cloud Servers වෙන්න පුළුවන්. Google products නම් භාවිත කරන්නෙ Google Cloud Servers.

ඒකෙ බරපතලකම තාම තේරුණේ නැද්ද? හිතන්න, ඔයාගෙ ආදරණීය AI Assistant ඔයා කරන හැම දෙයක්ම ඔයා නොදන්න පරිගණකයකට upload කරනවා. ගෙදර වෙන හැම දෙයක්ම බලන් ඉන්න, අහන් ඉන්න හැකියාව මේ AI products වලට තියනවා. ඒවයෙ ධාවනය වෙන්නෙ Closed source proprietary software. මගේ අදහස නම් මේකයි, තමන්ගෙ ගෙදර වෙන හැම සංවාදයකටම කන් දෙන, නිවසේ හැම දෙයක් ගැනම ඇස් යොමන් ඉන්න Virtual ඔත්තුකාරයෙක්ව සල්ලිවලට අරගෙන ගෙදර තියන් ඉන්න කෙනා ලොකු මොඩයෙක්! මම කතා කරන දේවල් හැම දෙයක්ම පිටස්තර පරිගණකයක record වෙනවා කියලා දැනගෙන මට නම් නිදහසේ කතා කරන්න බෑ.

No personal data, it’s all BIG DATA!

ඔයා cyber security අංශය ගැන හරි computer science අංශය ගැන හරි උනන්දු කෙනෙක් නෙවෙයි නම් මේ දේවල් ගැන මීට කලින් මේ විදිහට දකින්න නැතුව ඇති. ඉන්න! AI Assistantලා සහ Smart Homes ගැන විතරක් නෙමෙයි මම කතා කරන්නෙ. ඔයා අන්තර්ජාලය හරහා කෘත්‍රීම බුද්ධියේ හැන්දෙන් රසවත් තොරතුරු අනුභව කරන කෙනෙක් නම් ඔයාට අන්තර්ජාලයේ privacy කියලා දෙයක් ඇත්තෙම නැති තරම්.

Facebook, Google, Amazon, Microsoft, Apple වගේ සමාගම් ඔවුන්ට පුලුවන් උපරිමයෙන් ඔයාගෙ පෞද්ගලික තොරතුරු එකතු කරනවා. Facebook ආයතනය WhatsApp හරහා ඔයාගෙ මිතුරු මිතුරියො කවුද, ඒ අය ඔයාට කොච්චර සමීපද කියන තොරතුරු එකතු කරනවා (ඒ නිසයි මම WhatsApp වෙනුවට signal භාවිත කරන්නෙ). Posts වලින් මුහුණු අඳුන ගන්නවා. Facebook සමාගමේ සම්පූර්ණ විස්තර කියන්න ගියොත් සැතැප්මක් විතර දිග ලිපියක් ලියන්න වෙනවා. අද බොහෝ දෙනෙකුට අන්තර්ජාලයේ ඉන්න දොරටුපාලක තමයි Google කියන්නෙ. මුළු අන්තර්ජාලයම බලගැන්වෙන්නෙ Amazon Cloud Servers වලින්. Apple තරම් Privacy ගැන බොරු කියන වෙන කිසිම සමාගමක් නෑ.

ඔයා කොච්චර මහන්සි වුණත් ඔයාට ඔයාව 100% හොඳට තේරුම් ගන්න මිත්‍රයෙක් හොයාගන්න පුළුවන්ද? මේ සමාගම් වලට නම් ඔයාව 100% හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔයාගෙ දෙමාපියන්ටත් වඩා හොඳින් මේ සමාගම් ඔයා ගැන දන්නවා. එයාලට ඔයාගෙ හිත කියවීමේ හැකියාවත් තියනවා. විශ්වාස නැද්ද? එහෙනම් Facebook වලට හරි Youtube වලට හරි යන්න. ඒ App එක close කරලා ආපහු පියවි ලෝකයට එන්න ඔයාට පැය කීයක් ගියාද?

කෘත්‍රීම බුද්ධියේ පහස විඳින්න ඔයාගේ කැමති අකමැතිකම්, ජාතිය, ආගම, දේශපාලන මතවාද, ජනවර්ගය, රට, ලිපිනය, පුද්ගල සම්බන්ධතා, සෞඛ්‍ය තොරතුරු, යන එන ගමන් බිමන් වගේ පෞද්ගලික කරුණු public corporation එකක් එක්ක බෙදා ගන්න එක වාසිදායක ගනුදෙනුවක්ද?

“I have nothing to hide”

සමහර අය මෙහෙම හිතනවා. මොකටද පෞද්ගලිකත්වය ගැන වද වෙන්න? මට හංගන්න මුකුත් නෑ. ඒ නිසා මට පෞද්ගලිකත්වයක් ඕනෙ නෑ.

ඔයත් මෙහෙම හිතන කෙනෙක්ද? එහෙනම් ඔයා ගැන කියන්න මම දන්නෙ නෑ. මට නම් හංගන්න දේවල් තියනවා. මගේ කැමති අකමැතිකම්, ජීවිතයේ අරමුණු, මිතුරු මිතුරියන් ගැන දක්වන ආකල්ප වගේ හංගන්න දේවල් නම් මට දාහක් තියනවා. අනිත් වැදගත්ම දේ, කියමනක් තියනවානෙ “දැනුම බලය වේ” කියලා. හමුදා නිළධරියෙක් වුණත් සතුරෙක්ට පහර දෙන්න කලින් ඔහු ගැන තොරතුරු රැස් කරනවා. Facebook වගේ සමාගම් කොතරම් ඔබගේ පෞද්ගලික තොරතුරු දන්නවද, අන්න ඒ තරම් ම ඔවුන් ට ඔබව පාලනය කරන්නත් පුළුවන්. ඒක මගේ හිතට ආපු මනෝ විකාර අදහසක් නෙමෙයි. ඒ අය ඒක දැනටමත් කරනවා. විශ්වාස නැද්ද? එහෙනම් හොයලා බලන්න Google Jigsaw Project කියන්නෙ මොකක්ද කියලා. Moonshot කියන්නෙ මොකක්ද කියලා හොයන්න.

මේ ලිපියෙ අරමුණ වුණේ පෞද්ගලික ඕපාදූප හොයන AI Algorithm වලින් ආරක්ෂා වෙන හැටි උගන්වන එක නෙමෙයි. එහෙම ආරක්ෂා වීම අවශ්‍යයි කියන මතය ලබා දෙන එකයි අරමුණ. ඔයා මගේ මතයට එකඟ නැති වෙන්න පුළුවන්. ඒත් ඊළඟ වතාවෙ Amazon Astro රොබෝව දැක්කම “ආනේ, cute රොබෝ කෙනෙක්”, කියලා හිතනවට වඩා “මේ යකඩ ගොඩ මගේ ගේ වටේ ගිහින් එකතු කරන දත්ත වලින් මොකද කරන්නෙ”, කියලා හිතන්න පුළුවන්නම් ලොකු දෙයක්. මේ ලිපියේ අරමුණත් පරිගණක තාක්ෂණයේ ගොඩක් අය නොදකින අඳුරු පැත්ත ඔබට පෙන්වන එක.

The Redirect Method is an open-source methodology that uses targeted advertising to connect people searching online for harmful content with constructive alternative messages. Piloted by Jigsaw and Moonshot in 2016 and subsequently deployed internationally by Moonshot in partnership with tech companies, governments and grassroots organizations, it uses pre-existing content made by communities across the globe, including content not created for the explicit purpose of countering harm, to challenge narratives which support violent extremism, violent misogyny, disinformation and other online harms.

~ Moonshot project


හැම ඉරිදාම අලුත් ලිපි ලියනවා කිව්වට අනිත් වැඩ එක්ක මට ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටු කරන්න බැරි වුණා. මේ ලිපිය ලියන්නෙ කාලීනව වැදගත් නිසයි. පහළින් email එක දාලා newsletter එකට subscribe කළොත් අලුත් ලිපි මඟ ඇරෙන එකක් නෑ. Subscribe කළොත් මතක ඇතුව verification email එකක් එයි ඒක බලන්න. මම ලිපි ලියද්දි SEO ගැන හිතන්නෙ නැති නිසා Search Engines වලින් මගේ ලිපි ප්‍රසිද්ධ වෙන්නෙ නෑ. ඒ නිසා ලිපිය share කරන්න පුළුවන්නම් ඒක ලොකු උදව්වක්.

සුබ දවසක්!
අදීප ගුණතිලක.


මම අන්තර්ජාලයේ සැරිසරද්දි මේ අංශය සම්බන්ධවම තවත් සිංහල blogger කෙනෙක් ලියපු ලිපියක් දැක්කා. එයා තවත් පරිගණක අංශය ගැන ලිපි පළ කරලා තියනවා. කැමතිනම් ඒකත් බලන්න.

https://blog.prabhashlk.com/2018/12/internet-privacy1.html
https://blog.prabhashlk.com/

Useful resources

moonshotteam.com
Moonshot - Wikipedia
Google Jigsaw Project

NSA Prism Project - Wikipedia
GPT3 AI

Comments

  1. thank you, නියම article එකක්, ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    ReplyDelete
  2. නියමයි bro පට්ට.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ක්‍රියාකාරී ගොනු අහිංසක නැත

Free software හොඳ ද? (Free vs Proprietary software)

Linux වල සිංහල font නිිවැරදි ව display කිරීම

Radius Images